16/05/2023
🩺🩸Canine Distemper disease - සුනඛ පක්ෂගාත රෝගය🩺🩸
මෙම සුනඛ පක්ෂගාත රෝගය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙන මාරන්තික රෝගයකි. ගෘහස්ථ සුනඛයන්ට සහ ක්ෂීරපායි සතුන්ට ඇතිවන සුව කළ නොහැකි, බොහෝ විට මාරාන්තික වන මෙම රෝගය බොහෝ පද්ධතිවලට පහර දීමෙන් සත්ත්වයාගේ සිරුරේ දරුණු රෝගාබාධ ඇති කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිකාර කිරීමට අපහසු පුළුල් ආසාදනයක් ඇති කරයි. ප්‍රධානව සත්ත්වයාගේ ශ්වසන,මධ්‍යම ස්නායු සහ ආමාශ, ආන්ත්‍රයික යන පද්ධති වලට හානිකරයි. එතනින් නොනැවතී මොළය, පෙනහලු, ශ්වසන මාර්ගය, ඇස් සහ නාසය වැනි අවයවද ආසාදනය කරයි. මෙය ඇතිකරන්නේ canine distemper virus (CDV) සුනඛ ඩිස්ටෙම්පර් වෛරසය මගිනි. භයානකම තත්ත්වය වන්නේ මෙම රෝගයට හේතු වන්නේ වෛරසයක් වීමයි. ඊට හේතුව වෛරස් මගින් ඇතිවෙන රෝග ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර නොමැති වීමයි. 😓
🛑රෝගය සතෙකුට ආසාදනය විය හැක්කේ කෙසේද🛑
සුනඛයන්ට මෙම රෝගය වැළඳිය හැකි ක්‍රම තුනක් තිබේ:
01. ආසාදිත සතෙකු හෝ වස්තුවක් සමඟ සෘජුව සම්බන්ධ වීමෙන්
02. වාතයට නිරාවරණය වීමෙන්
03. ඉපදෙන විටදී මවගෙන් වැදෑමහ හරහා
ආසාදිත බල්ලෙකු හෝ වන සතෙකු කැස්ස, කිවිසුම් යාම හෝ බුරන විට, ඔහු පරිසරයට වායු බිඳිති මුදා හරින අතර, ඔවුන් භාවිත කල ආහාර සහ ජල භාජන වැනි දේවලින් නිරෝගි සතෙකුට පහසුවෙන් ආසාදනය විය හැකියි. මෙම වෛරසය සත්ත්වයෙකුගේ ශරීරය තුලට ඇතුළු වන්නේ ශ්වසන මාර්ගයෙන් වන අතර පැය 24ක් ඇතුලත පෙනහලු තුලට ඇතුලුවී වර්ධනය වීම ආරම්භ කරයි. ඉන්පසුව මුළු ශරීරයේම පැතිර යමින් සියලු අවයව ආසාදනය කරයි.
ඉතාම ඉක්මනින් ව්‍යාප්ත වෙන මෙම වෛරසය බොහෝ විශබීජ නාශක මගින් පහසුවෙන් විනාශ වේ. මෙම වෛරසයට ශරීරයකින් පිටත බොහෝවේලා ක්‍රියාකාරී වීමට අපහසු වන නමුත් සුලග මගින් අඩි 4ක වැනි දුරක් ගමන් කල හැකිය. පරිසරයේ උෂ්ණත්වය මත එය තීරණය වේ. එසේම ඩිස්ටම්පර් ආසාදිත සුනඛයන්ට මාස කිහිපයක් දක්වා වෛරසය වැගිරවිය හැකි අතර ඔවුන් වටා සිටින සුනඛයන් අවදානමට ලක් කිරීමයි. එමනිසා ආසාදිත සුනඛයන් වෙන්කර තැබිය යුතුය.එසේම මෙය මිනිසුන්ට ආසාදනය වූ සිදුවීම් වාර්තාවී නොමැත.
🛑රෝග ලක්ෂණ🛑
ඩිස්ටම්පර් සුනඛයන් ඔවුන්ගේ ශරීරයේ රෝගය කෙතරම් දියුණුද යන්න මත පදනම්ව පුළුල් පරාසයක රෝග ලක්ෂණ අත්විඳිති. මෙහි රෝග ලක්‍ෂණ අදියර දෙකකි.
01. පලමු අදියර
ඇස්වලින් සැරව වැනි ස්‍රාවයක් පිටවීම සහ එය ඇස් අසල ඝනවීම, උණ, ආහාර රුචිය නැතිවීම, නාසයෙන් පැහැදිලි ශ්‍රාවයක් පිටවීම, කැස්ස, වමනය, පාචනය, නිව්මෝනියාව, හුස්මගැනීමේ අපහසුව, කකුල් වල යටිපතුල් ඉදිමී ඝන වීම
02. දෙවන අදියර
ප්‍රතිකාර නොලැබීමෙන් රෝගය දරුණු වෙන අදියරයයි. රෝග ලක්ෂණ ලෙස හිස ඇලවීම හෝ ඇඹරීයාම, එකතැන රවුමට ඇවිදීම, කටින් අසාමාන්‍ය ලෙස කෙල ගැලීම, අර්ධ හෝ සම්පූර්ණ අංශභාගය, මාංශපේෂි වල සහ මොළයේ ගැස්ම, හකු එකට චලනය වීම, මරණය.
ඉහත සියලු ලක්ෂණ හෝ කිහිපයක් තිබිය හැකිය. එසේම මෙම වෛරසය මගින් ශරීරයේ ප්‍රතිශක්තිය බිඳ දමන නිසා සත්ත්වයා රෝගයට අමතරව ද්විතීයික ආසාදන වලටද ගොදුරු වේ. එය ඉතා භයානක ත්ත්වයකි.
🛑අවදානම් කාණ්ඩ🛑
ඕනෑම සුනඛයෙකුට ආසාදනය වේ. එහෙත් එන්නත් නොකල, ප්‍රතිශක්තිකරණය දුර්වල සහ මාස 4ට අඩු පැටවුන් ඉතා අවදානම් කාන්ඩයයි. සුනඛයෙක් ඉහත රෝග ලක්ෂණ පෙන්වයි නම් ඉක්මනින් ඔබගේ පශුවෛද්‍යවරයා හමුවන්න. එසේම එන්නත් කල සුනඛයන් හට රෝගයට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් ලැබේ.
🛑රෝගය වළක්වාගන්නේ කෙසේද 🛑
ඇති එකම විසදුම එන්නත්කරණයයි.💉 විශේෂම දෙයක් ලෙස ඩිස්ටෙම්පර් රෝගයට එරෙහි පළමු එන්නත ඉතාලි Vittorio Puntoni විසින් නිපදවන ලදී.
සුනඛ ඩිස්ටෙම්පර් රෝගයට එරෙහි DHLPP නම් ප්‍රතිශක්තිකරණ එන්නත මගින් රෝගය වැළදීම වළක්වාගත හැකිය. මෙම එන්නත මගින් රෝග 3කට එරෙහිව සුනඛයාට ආරක්ෂාව ලබාදේ.
D - Distemper
H - Hepatitis
L - Leptospirosis
එන්නත් නියමිත දිනට අලුත් කලයුතු අතර එන්නත් ලබාදුන් දිනටම ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ නැත. එයට මාසයක් වැනි කාලයක් ගතවන අතර ඒ කාලය තුල රෝගයට ගොදුරු වුවහොත් එහෙත් තත්ත්වය භයානක වේ.
🛑රෝගය වැළදුනහොත් කලයුතු ප්‍රතිකාර🛑
මෙම රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැත. වැලදුන පසුව වෛද්‍යවරයා පාචනය, වමනය සහ ස්නායු රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි. රෝගය මගින් විනාශ කල ස්නායු නැවත සකස් කිරීමට විටමින් B අතිරේක, ද්වීතියික ආසාදන වැලැක්වීමට ප්‍රතිජීවක (e.g. amoxicillin, ampicillin, or doxycycline) වැනි ඖෂධ ලබාදෙයි. ප්‍රතිජීවක ඖෂධ වලට හැක්කේ ද්විතීයික බැක්ටීරියා ආසාදන වැලැක්වීමට සහ රෝග ලක්ෂණ වලට එරෙහිව සටන් කිරීමට පමණි. එයට වෛරසයට එරෙහිව සටන් කල නොහැකිය.
එසේම මෙයට ගොදුරු වූ සුරතලෙකුට දැඩි සත්කාරයක් අවශ්‍ය වේ. ඉතා පරෙස්සමින් රැකබලා ගතයුතුවේ. නිතරම ආසාදිත සුරතලා සිටින පරිසරය විශබීජ නාශක මගින් පිරිසිදු කලයුතු අතර සත්කාර කල පසුව ඔබත් හොදින් පිරිසිදු වියයුතුය. ඊට හේතුව මිනිසුන්ට මෙම වෛරසය නොවැළදුනත් ඇදුම් වැනි දෑ වල වෛරසය රැදී තිබීමෙන් පසුව තවත් නිරෝගි සුරතලෙකු ඒමගින් ආසාදනය වියහැකිය.
එසේම රෝගී සත්ත්වයෙක් විජලනය වීමෙන් වැලැක්වීමට නිතරම ජලය හෝ දියර වර්ග දිය යුතුයි.ඔවුන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කලත් ආහාරය දියරයක් ලෙස බ්ලෙන්ඩර් කර කැවිය යුතුය. එමෙන්ම සත්ත්වයා නිතරම සීතලෙන් ආරක්ෂා කලයුතුය. කොන්ද සහ පපුව වැනි ප්‍රදේශ තැවීම කළහැකිය. ලබාදෙන ප්‍රතිකාර, රෝගයේ තත්ත්වය, කොතරම් දුරට සිරුරේ එය පැතිරී ඇතිද, සත්ත්වයාගේ වයස, ප්‍රතිශක්තිකරණයේ තත්ත්වය මත සුව වීම හෝ නොවීම තීරණය වේ. එන්නත් නොකල සුනඛයන් වුවත් සුවවීමේ ප්‍රවණතාව 40%ක් පමණ වේ.
Reference : American Kennel Club