29/10/2020
🇱🇰🙏උපුටා ගැනීමකි🙏🇱🇰
♦කිනිතුලු උණ (Tick Fever) රෝගය
සුනඛ සුරතලුන්ට වැළඳිය හැකි මාරාන්තික රෝගයක් වන Tick Fever එහෙමත් නැත්නම් කිනිතුලු උණ ගැන ඔබ දන්නවා ද ?
නමෙන් කියවෙන විදියටම මෙය කිනිතුල්ලන් මගින් බෝ වන රෝගයක්. වසරකට සුනඛයන් විශාල ගණනක් මේ නිසා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙනවා. නමුත් නිසි දැනුවත්භාවයක් තිබේ නම් මේ රෝගය පහසුවෙන් වලක්වාගැනීමට පුළුවන්. එසේම රෝග ලක්ෂණ ද කල්තබා හඳුනාගතහොත් ප්‍රතිකාර කර පහසුවෙන් සුරතලාගේ ජීවිතය රැකගන්න පුළුවන්.😊
කිණිතුල්ලන් රුධිරය උරාබීමේදී රෝග කාරක පරපෝෂිතයන් සුනඛයාගේ රුධිරයට ආසාදනය වේ. මෙහිදී රෝග වාහකයන් ලෙස කිණිතුල්ලන් ක්‍රියාකරන බැවින් මෙම රෝගය කිණිතුළු උණ නමින් හැඳින්වේ.
ඕනෑම වයසක පසුවන සුනඛයකුට වැළඳිය හැකි මෙම රෝගය එය ඇතිකරන රුධිර පරපෝෂිතයා අනුව වර්ග දෙකකි.
එනම්,
🔹 බැබීසියෝසිස් (babesiosis) හා
🔹අර්ලිෂියෝසිස් (ehrlichiosis) යන වර්ග දෙකයි.
එමෙන්ම මෙම පරපෝෂිතයන් වර්ග දෙකම එක්වර ආසාදනයවූ අවස්ථාද දැකිය හැකි වේ.
🔹 බැබීසියෝසිස් (babesiosis)
මෙහිදී රෝගකාරක පරපෝෂිතයා රතු රුධිර සෛලවලට ආසාදනය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රතු රුධිර සෛල විනාශවී රක්තහීනතාවය ඇතිවේ.
🔸රෝග කාරකය හා එය දේහගත වන ආකාරය
බැබීසියා කේනිස් (Babesia canis) හා බැබීසියා ගිබ්සොනායි (Babesia gibsoni) යන පරපෝෂී විශේෂ දෙක ශ්‍රි ලංකාවේ බහුලව දක්නට ලැඛෙන රෝග කාරකයන් වේ. කිණිතුල්ලන් රුධිරය උරාබීමේදී රෝග කාරකය සුනඛයාගේ රුධිර ගතවන අතර රෝග ලක්ෂණ පිටතට පෙන්වීම පරපෝෂිතයා රුධිරගතවී දින 10-21 අතර කාලයකදී සිදුවේ.
එනම් රෝග ලක්ෂණ පෙන්වන විටදී කිණිතුල්ලන් පෙනෙන්නට නොසිටීමටද පුළුවන්. මීට අමතරව රුධිර පාරවිලයනයකදී වුවද දායකයා ආසාදිත නම් රෝගය ප්‍රතිග්‍රාහක සුනඛයාට බෝවිය හැක.
🔸රෝග ලක්ෂණ
මුලින් සඳහන් කළ පරිදි රතු රුධිර සෛල වලට පරපෝෂිතයා ආසාදනය වීම නිසා එක්වර අධික රතු රුධිර සෛල සංඛ්‍යාවක් විනාශ වීමෙන් රක්තහීනතාව ඇතිවේ.
එම නිසා දරුණු රක්තහීනතාවයේදී පෙන්වන රෝග ලක්ෂණ මෙහිදී ප්‍රධාන වශයෙන් දැකිය හැකිය. රක්තහීනතාව නිසා දේහ පද්ධතිවලට ඔක්සිජන් ලැබීමද සීමාකාරී වෙයි.
සුනඛයා උදාසීන ගතියක් පෙන්වීම, විදුරුමසේ සාමාන්‍ය රෝස පැහැය වෙනුවට සුදු පැහැයක් ගැනීම හා ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩිවීම ආදිය මෙම රෝගයේදී පෙන්වන ලක්ෂණ වේ. කෑම අරුචිය, අධික ලෙස දේහ උෂ්ණත්වය ඉහළ යාම, අක්මාව හා ප්ලීහාව ඉදීමීම ද මෙම රෝගයේදී දැකිය හැක.
මුල් කාලයේදී ප්‍රතිකාර නොකළහොත් රෝගය දරුණු අතට හැරෙන අතර සුනඛයාගේ ඇස් හා ශ්ලේෂ්මල පටක කහපාට වීම, මුත්‍රා තද කහ පැහැයක් ගැනීම වැනි රෝග ලක්ෂණ මතුවේ. මෙම කහ පැහැයට හේතු වන්නේ අධික රක්තාණු සංඛ්‍යාවක් විනාශ වීම මගින් පිටවන වර්ණක පරිවෘත්තියෙන් ලැඛෙන අතුරුඵලයන්ය.
රෝගයට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීමෙන් ඇතිවන අධික රක්තහීනතාවයත් අක්මාව, වෘක්ක, පෙනහළු හා මොළය වැනි අවයව වලට බලපෑම් එල්ලවීමත් නිසා සුනඛයා මියයාම වුවද සිදුවිය හැකිය.
මෙම රෝගය වැලදුනු පසු රෝගී සුනඛයා රැකබලා ගන්නේ කෙසේද යන්න පිලිබදව අපි දැන් කතාකරමු.
කිණිතුළු උණ රෝග ලක්ෂණ නිරික්ෂණය කළ වහාම පශුවෛද්‍යවරයෙකු ලවා සුනඛයා පරික්ෂා කරවා ගැනීම හා ප්‍රතිකාර ලබාදීම මගින් රෝගය උග්‍ර අතට හැරීම වළක්වාගත හැක.
පශුවෛද්‍යවරයාගේ නිගමනයට අනුව නැවත සුනඛයා පරික්ෂා කිරීමට නිියමිත දිනට සුනඛයා පශුවෛද්‍යවරයා වෙත රැගෙන යාම වැදගත්වේ. මෙහිදී රුධිර පටල පරික්ෂා කිරීම මගින් නැවත ඖෂධ නික්ෂේපන ලබාදිය යුතුද යන්න තීරණය කිරීම කරනු ඇත. මෙය ඉතා වැදගත් වන්නේ ආසාදනය වූ පරපෝෂිතයා සම්පූර්ණයෙන්ම රුධිරයෙන් ඉවත්වී ඇත්දැයි යන්න මෙහිදී පරික්ෂාකර ගත හැකි වීම නිසයි.
සුනඛයා රෝග ලක්ෂණ නොපෙන්වා වුවද තව දුරටත් පරපෝෂිතයා රුධිරයේ සිටියි නම් ඖෂධ නික්ෂේපන ලබාදීම මගින් පරපෝෂිතයා සම්පූර්ණයෙන්ම රුධිරයෙන් ඉවත් කළ යුතුය. එසේ ඉවත් නොකළහොත් සුනඛයාගේ ප්‍රතිශක්තිය අඩුවූ කලෙක නැවත රෝග ලක්ෂණ මතුවිය හැක!
🔸 රෝග නිවාරණකටයුතු
රෝග නිවාරණයේදී අතිශයින්ම වැදගත් වන්නේ කිණිතුල්ලන් මර්දනයයි. රෝගය වැළඳීමට රෝග කාරකය සහිත එක් කිණිතුල්ලකු පමණක් සිටීම පවා ප්‍රමාණවත්ය.
කිණිතුල්ලකු පරපෝෂිතයා ආසාදනය වූ සුනඛයකුගේ රුධිරය උරාබීමෙන් පසුව බිත්තර දැමීම මගින් ඇතිවන ඊලඟ පරම්පරාවල කිණිතුල්ලන්ගේ පවා පරපෝෂිතයා දක්නට ලැබේ. මේ ආකාරයෙන් ඉදිරි පරම්පරා තුනක කිණිතුල්ලන්ට පවා බිත්තර මගින් පරපෝෂිතයා ආසාදනය විය හැකිය.
මෙහිදී වැදගත්වන තවත් කරුණක් වන්නේ රෝග කාරක පරපෝෂිතයා සුනඛයාගේ ශරීර ගතවීමට නම් වාහක කිණිතුල්ලකු දින තුනක් පමණ රුධිරය උරාබිය යුතුය යන්නයි. එනම් දිනපතා කිණිතුල්ලන් ඉවත් කරමින් සුනඛයා පරිසිදු කරන්නේ නම් කිණිතුළු උණ වැළඳීමට ඇති ඉඩ කඩ අඩුවේ.
සුනඛයන් කිහිපදෙනෙකු එකම පරිශ්‍රයේ ජීවත්වන්නේ නම් හා එක් සුනඛයකු රෝගයට ගොදුරු වී ඇත්නම් අනෙකුත් සුනඛයන්ද රෝගකාරකයෙන් ආසාදිතව පැවතීමට ඉඩ ඇත. එබැවින් එම සුනඛයන්ද රෝගය සඳහා පරික්ෂා කරවා ගැනීම වැදගත් වෙයි.
🔹අර්ලිෂියෝසිස් (ehrlichiosis)
කිනිතුලු උණෙහි දෙවැනි ප්‍රභේදය වන අර්ලිෂියෝසිස් රෝග තත්වය සුනඛයන් අතර බහුලව දක්නට ලැබෙනවා.
🔸රෝග කාරකය හා එය දේහගත වන ආකාරය
ඒ පිලිබදව කතා කලහොත් අර්ලිෂියා ගනයට අයත් ජීවී විශේෂ කිහිපයක් මගින් රෝගය වැළෙඳන අතර සුනඛයන්ගේ සිරුරේ වෙසෙන දුඹුරු කිණිතුල්ලන් මෙම රෝග කාරකයේ වාහකයා ලෙස ක්‍රියා කරයි.
🔸 රෝග ලක්ෂණ
මෙම රෝගයේ ඉතා ඉක්මනින් මතුවී දරුණු අතට හැරෙන (Acute) හා රෝගය වැළඳී දිගු කාලයක් පවතින(Chronic) ලෙස ප්‍රධාන ආකාර දෙකකි.
සුනඛයා ක්‍රියාශීලී ගතියක් නොදැක්වීම, කෑම අරුවිය, කෘෂ වීම, දේහ උෂ්ණත්වය ඉහළ යාම, වසා ගැටිති ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාවයන් පෙන්වීම, ඇසින් හා නාසයෙන් විවිධ ස්‍රාවයන් ගැලීමත් ආදිය ඉක්මනින් මතුවන රෝග තත්ත්වයේ ලක්ෂණ වෙයි.
නාසයෙන් ලේ ගැලීම, රක්තහීනතාවය, ඇස් ඉදිමීම, ඇසේ රතු පැහැති පැල්ලම් ඇතිවීම, වෘෂණ කෝෂ හා ගාත්‍රා ඉදිමීම දිගු කලක් පවතින රෝගයේ ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ පෙන්වීමට හේතු වන්නේ රුධිරය කැටිගැසීමට අවශ්‍ය රුධිර පට්ටිකා ඇතුළු අනෙකුත් සංඝටක විනාශ වීම නිසාවෙනි.
🔸රෝගී සුනඛයා රැකබලා ගැනීට උපදෙස්
සුනඛයා රෝගය වැළඳුණු මුල් අවස්ථාවේදීම පශුවෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබාදීම ඉතා වැදගත්ය. මෙමගින් ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්වා සුව වන රෝග තත්ත්වය දිගු කාලීන රෝග තත්ත්වය දක්වා පරිවර්තනය වීම නවත්වා ගත හැකි වෙයි.
කෙටි කාලීන රෝග තත්ත්වය නිසි ප්‍රතිකාර මගින් ඉක්මනින් සුව වන අතර දිගු කාලීනව ඇතිවන රෝගය සම්පුර්ණයෙන් සුව වීමට මාසයකට වැඩි කාලයක් ගත විය හැකිය.
රෝගය දරුණු අතට හැරී රක්තහීනතාවය වර්ධනය වුවහොත් රුධිර පාරවිලයනය පවා කිරීමට සිදුවේ. රෝගී සුනඛයන්ගේ රක්තහීනතාවය ඇතිවීමට ඉඩ කඩ ඇති බැවින් දේහ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම අඩාල විය හැක!. එම නිසා රෝගී සුනඛයාගේ ව්‍යායාම හා අනෙකුත් ක්‍රියාකාරකම් අඩු කිරීම උචිතය.
🔸රෝග නිවාරණය
කිණිතුල්ලන් මර්දනය කිරීම රෝගය නිවාරණය කිරීමේ ප්‍රධාන ක්‍රමය වේ. එමෙන්ම රෝග ලක්ෂණ ඇති වී තිබේ නම් පශුවෛද්‍ය වරයෙකු ගේ නිර්දේශය මත අවශ්‍ය ඖෂධ නොකඩවා ලබාදීමත් අතිශයින්ම වැදගත්ය.
ඉතින් මන් හිතනො ඔයලට මෙක වැදගත් වෙන්නැති කියලා.
සැ.යු. 🙏උපුටා ගැනීමකි🙏
-පශුවෛද්‍ය අනුර දිසානායක-
(PetLife සඟරාව- 2013 සැප්තැම්බර් කලාපය)