24/04/2023
උපුටා ගැනීමකි
පාරේ ඉන්න රෑශ් බල්ලන්ට යෝගට් එකට දාලා පෙත්තක් දෙමුද?
කාලෙන් කාලෙට සමජ මාද්‍ය ඔස්සේ පලවෙන පුවත් දකින පශුවෛද්‍යවරුන්ගේ නම් ඒ වෙලේට ඔලුව ගිනි ගන්නවා. මොකද සමහර බෙහෙත් අවභාවිතාව වගේම ඒ ඖෂධ භාවිතය නිසා සතුන්ට වෙන හානිය නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා. රුපියල් 15ක් වෙන්නේ යෝගට් එකකට දාලා දෙන්න පාරේ ඉන්න සතුන්ට කියලා ඔය පින් සිද්ද වෙන කියලා දෙන්නේත් එහෙම බෙහෙතක්. (මම ඒක abc කියලා නම් කරන්නම්, ගොඩක් අය නම දන්නවා උනාට නොදන්න අයට එපා කිව්වාම ඒ නම හොය හොයා යන්න පුලුවන් කියලා අත්දැකීමෙන් දන්න නිසා 🙈) ඒ වගේම ඕනිම වර්ගේ රෑශ් එකකට ඒම නැතිනම් කිනිතුල්ලන්ට හරියනවා කියලා ෆාමසියෙන් හොර පාරෙන් අරන් 1ml ගහන්නේ අන්න ඒකත් ඒකම තමා.
abc කියන්නේ ලෝකය පුරා පශුවෛද්‍යවරු නිතරම භාවිතා කරන ඖෂධයක්. පරපෝශිතයන් මර්දනයට තමා විශේෂයෙන්ම මෙය භාවිතා කරන්නේ. එතකොට මේ බෙහෙතෙන්
1. ශරීරයේ ඇතුලේ ඉන්න එක එක ජාතියේ පණුවෝ
2. හමේ රෝග සාදන හා කණ ආසාදනය කරන මයිටාවෝ
3. සමහර කිනිතුල්ලෝ
පාලනය කරන්න යොදාගන්නවා. ඒත් මේකෙන් හැම වර්ගයේම පණුවෝ මැරෙන්නේත් නෑ. කිනිතුල්ලෝ පාලනයට සාර්ථක බෙහෙතකුත් නෙවෙයි. එතකොට මේ බෙහෙත කෝකටත් තෛලේ වගේ හැම කුෂ්ඨ රෝගෙටම භාවිතා කරන්නත් බෑ. ( අපි කලින් කුෂ්ඨ රෝග ගැන ගොඩක් කතා කලානේ.
abc කියන්නේ ස්නායු වලට විශ බෙහෙතක්. ඒ කියන්නේ මෙය පරපෝශිතයන්ගේ ස්නායු වලට ගමන් කරලා එහි සාමාන්‍ය ස්නායු පණිවිඩ ගමනාගමනය අඩපණ කරනවා. ඒකෙන් පරපෝශිතයෝ අංශභාග තත්වයට පත්කරලා මරණයට පත්වෙනවා.
එතකොට සාමාන්‍යයෙන් මේ abc ස්නායු වලට බැදෙන තැන් ක්ශීරපායීන්ගේ ටිකක් අඩුවෙන් තියෙන්නේ, ඒ වගේම ක්ශීරපායින්ට මොළයට රුධිරය ගමන් කරන්කොට රුධිරය එක්ක ගමන් කරන දේවල් තෝරලා බේරලා යවන්න බැරියර්/ බාදකයක් තියනවා, ඒකට කියන්නේ blood brain barrier කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ බැරියර් එකෙන් abc මොළයට ගමන් කරන්නේ නෑ.
ඒත් මම පරපෝශීන් විතරයි මරන්නේ කියලා abc ක්ශීරපායීන්ව අත අරින්නෙ නෑ. එයාට අවස්ථාවක් ලැබුනොත් ක්ශීරපායීන්ගෙත් ස්නායු වලට බැදිලා ඊට හානි කරනවා. ඒ කොහොමද කිව්වොත්
-සති 6ට වඩා කුඩා සතුන්ගේ මේ blood brain barrier එක හැදිලා නෑ, එතකොට මොළයට ලේසියෙන් ගමන් කරන්න පුලුවන්.
- සමහර සතුන් මේ බෙහෙතට අධි සංවේදීයී. වයස හරි උනත් මාත්‍රාව හරි උනත් එයාලට විශ වෙන්න පුලුවන්.
- විශාල මාත්‍රාවක් ලබාදුන්නොත් මෙය blood brain barrier එක හරහා මොළයට ගමන් කරනවා.
සාමාන්‍යයෙන් මෙම බෙහෙත ලබාදීලා පැය 4ක් 12ත් අතර කාලයේදී විශ වීමක ලක්ශණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා.
1. දුබල බව
2. කෙළ වැගිරීම
3. වමනය
4. ඇසේ කණිනිකාව විශාල වීම
5. ආහාර අරුචිය
6. පාලනයකින් තොර අත පය සෙලවීම්
7. ඇස් අන්ධවිම
8. ෆිට් එක/ අපස්මාරය
9. හිටගැනීමේ අපහසුව
10. හුස්ම ගැනීමේ අපහසුව
11. හද ගැස්ම අඩු වීම
12. කෝමා තත්වයට පත්වීම
13. මරනයට පත්වීම
වගේ ලක්ශණ දක්නට ලැබෙන්න පුලුවන්. ඊට අමතරව අක්මාව හා වකුගඩු ආශ්‍රිත දීර්ඝකාලීනව රෝගාබාධයන් ඇතිවෙන්න පුලුවන්.
එතකොට abc විශ වීමකදී ප්‍රතිකාර සෑමවිටම සාර්ථක නොවෙන්න පුලුවන්. සමහර විට දීර්ඝකාලීනව ප්‍රතිකාරයන්ට යොමු කරන්නත් සිද්ද වෙනවා. බොහෝ විට මෙම විශ වන සතුන් බොහොමයක් මරණයට පත්වෙනවා. ඊට අමතරව විශවීමකින් පසුව ජීවිතය බේරගන්න සතුන්ගෙන් සමහරකට ස්නායු ආබාධ ඉතිරි වෙන්න පුලුවන්.
එතකොට කොහොමද මේ බෙහෙත පාවිච්චි කරන්නේ;
1. හැම තිස්සෙම පශුවෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න.
2. බරවා පණුවෝ අධික ප්‍රදේශ වල නම් හොරෙන් වත් පෙති දාලා දෙන්න එපා. බරවා පණුවෝ එක පාර විශාල ගණනක් මැරිලා ඒවා වකුගඩු මත තැම්පත් වෙලා වකුගඩු රෝග එන්න පුලුවන්. ඒ වගේම එම මැරෙන පණුවෝ රුධිරවාහිනී/ කේශ නාලිකා මත හිර වෙලා රුධිර ගමනාගමනය අවහිර කරලා ඉන්ද්‍රියන්ට සැපයෙන් රුධිර ගමන අවහිර කරන්න පුලුවන්. එතකොට එම අවහිර වන ඉන්ද්‍රීයමත රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුලුවන්.
3. කුඩා පැටවුන්ටත් හිතුමතේ දෙන්න එපා.
4. අනෙක් කරුන නම් එක් කුෂ්ඨ බල්ලට කිහිපදෙනෙක්ම දෙන්න පුලුවන්. එතකොට අධිමාත්‍රාවක් ලැබිලා ඉතාම ලේසියෙන් විෂ වෙන්න පුලුවන්
5. ඒනම් පෙත්තක් නෙවේ කාලක් දෙනවා කියලා අඩු මාත්‍රාවකින් දුන්නොත් එකට පරපෝශීන් අනුවර්තන ගොඩනගාගෙන බෙහෙත ඵල රහිත වෙන්න පුලුවන්.
ඉතින් abc කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි බෙහෙතක්. ලෝකයේ ඖෂධ කියන්නේ මාෆියාවක්, එක් එක් බෙහෙත් ප්‍රචලිත කරන්න එක් එක් කාලයට එක් එක් ක්‍රම යොදාගන්නවා. පින් සිද්ද වෙනවා රෑශ් බල්ලන්ට දෙන්න කියන්නෙත් අන්න ඒ වගේ කූඨ ප්‍රචාරණ ක්‍රමයක්. අවාසනාවට අපේ බොහෝදෙනා එයට මුලාවෙනවා. විශේෂයෙන්ම රෝග සදහා ප්‍රතිකාරක්‍රම සොයන්න සමාජ මාද්‍ය භාවිතා කරන්න එපා. සතුන්ට ආදරේ නම් ඔබ නොදන්න බෙහෙත් ඔබට ඕනී විදියට දෙන්න එපා. ඔබ නොදන්නවා උනාට ඉන් ගොඩක් සතුන් විඳවලා මැරෙනවා.
දැන් ඔබ abc කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒක නිසා ආයේ ඒ වගේ අවිචාරවත් ප්‍රචාරණයන්ට රැවටෙන්න එපා. දැනගෙන කතරගම යන්න, නොදැන ගිහින් අතරම වෙන්න එපා. ඉතින් ඔබ දැනගත්ත දේ නොදන්න අයටත් කියාදෙන්න පැකිලෙන්න එපා.
පශුවෛද්‍ය චමරි කෞශල්‍යා මැදගොඩ
ප. ව. -
රුධිරයේ ඉන්න පණුවෝ එක පාර මැරුනාම තව දෙයක් වෙනවා. ඒ ඔවුන් මැරුනාම අතිවිශාල ආසාත්මික රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් රුධිරයට එක් වෙනවා. ඒක නිසා abc පෙත්ත දීලා පැය 5ක් වගේ යනකොට විදුරුමහ සුදු මැලි වෙලා, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙලා, උණ ගැනිලා ලොකු කලබැගේනියක් වෙනවා. ඒකෙන් එයා කම්පම තත්වයකට පත්වෙලා මරණයට පත්වෙන්නත් පුලුවන්. ඒකට කියන්නේ allergic shock ඒම නැති නම් අසාත්මිකතාවය නිසා වෙන කම්පන තත්වය.